අනුරාධපුර යුගයේදී පොළොන්නරු ප්‍රදේශයේ ඉදිකර තිබූ වැව් රාහිය අතරින් එකිනෙකට් ළංව පිහිටි තෝපාවැව,දුඹුටුලු වැව, එරබදු වැව, බූ වැව සහ කළහගල වැව යන මධ්‍යම ප්‍රමාණයේ වැව් පහ තනි බැම්මක් මඟින් සම්බන්ධ කර මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ ජලාශය "පරාක්‍රම සමුද්‍රය" නමින් හැඳින්වේ.මහවැලි ගංගාවෙහි අතු ගංගාවක් වූ අඹන් ගඟේ සිට ආකාශ ගංගා නම් වූ ඈළ මාර්ගය ඔස්සේ මෙයට ජලය සපයා ඇති අතර කෘෂිකර්මාන්තයට මනා පිටුවහලක් ව පැවති මෙම ජලාශය කල්ගතවත් ම විනාශ වීම හේතුකොටගෙන පිළිසකර කිරීමේදී වැව් තුනකට පමණක් සීමා වී ඇත.වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි.වර්තමානයේ හෙක්ටයාර් 2539.50ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ජලාශයෙහි ඝන මීටර් දසලක්ෂ 134.07ක ජල ධාරිතාවක් පවතී.
ඓතිහාසික පොළොන්නරුව
Sunday, January 15, 2012
Friday, January 13, 2012
ගල් විහාරය
එකල "උත්තරාරාමය" යනුවෙන් හැඳින්වූ මෙම විහාරය පොළොන්නරු නගරයට උතුරු දෙසින් පිහිටා ඇත.සංඝයා වහන්සේ අතර සමගිය ඇති කිරීම පිණිස දිබුලාගල කාශ්‍යප මහ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම ස්ථානයෙහි ධර්ම සංගායනාවක්ද පවත්වා ඇති අතර මෙහි තිබූ ගල බිඳවා බුද්ධ ප්‍රතිමා හතරක් නිර්මාණය කර ඇත.ප්‍රධාන සමාධි බුදුරුව අඩ් 15 අඟල් 2 1/2 කින් යුක්ත වන අතර දෙපස සිංහ රූප චාමරධාරීන් මෙන් ම බ්‍රහ්ම, විෂ්ණු සහ වෙනත් දෙවිවරුන්ගෙන්ද සමන්විත වන විද්‍යාධර ගුහාවෙහි වූ ප්‍රතිමාව උසින් අඩ් 4 අඟල් 7 කි.හිටි පිළිමය උසින් අඩ් 22 අඟල් 9 ක් වන අතර සැතපෙන ප්‍රතිමාව දිගින් අඩ් 41 අඟල් 4 කි.මෙම ප්‍රතිමා සියල්ලම බදාම ගල්වා තීන්ත ආලේපකර තිබූ බවට නිගමනය කළහැකි අතර ප්‍රතිමා මන්දිර ද වෙන් වෙන්ව පිහිටා තීබූ බව ඉදිරිපස වූ අත්තිවාරම් කොටස් වලින් සනාථ වේ.
රාජසභා මණ්ඩපය
1 පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන "රාජසභා මණ්ඩපය"පසුකාලීනව දඹදෙණියෙහි විසූ 2 පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.දිගින් අඩ් 75 අඟල් 6 කින් හා පළලින් අඩ් 33 අඟල් 6කින් යුත් මෙය වේදිකා තුනකින් සමන්විත වේ.පළමුව එකිනෙකට වෙනස් ඉරියව්වෙන් යුත් ඇත් රූප පෙළ ප්‍රමුදිත ව ගමනේ යෙදී සිට්න අතර දෙවනුව ඉදිරිය බලාසිට්න සිංහ රූප පෙළ හිඳි ඉරියව්වෙන් දක්නට ලැබේ.තෙවනුව ඇති වාමන රූප පෙළ සතුට දනවන අයුරින් නිර්මාණය කර ඇත.අඩ් 11අඟල් 6ක උසකින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි පොළවේ මනහර කැටයමින් යුත් සම උස ගල් කුළුණු සතර පෙළක් ද දෙපස කොරවක් ගල් සහිත සඳකඩපහන දෙකකින් යුත් පියගැටපෙළක් ද දැකිය හැකිය.උඩ කෙළවර දෙපස ඉදිරිය බලා සිටින සිංහ රූප දෙකක් ද පැහැදිලිව දැකගත හැකිය.
Wednesday, January 11, 2012
පරාක්‍රමබාහු රාජ මාලිගය
![]() |
වෛජයන්ත ප්‍රාසාදය(සියලු යස ඉසුරෙන් පරිපූර්ණ වූ හෙයින්) හා සත්බුමුපාය (මහල් සතක් පැවති හෙයින්) යන අන්වර්ථ නාමයන්ගෙන්ද හඳුන්වනු ලබන "පරාක්‍රමබාහු රාජ මාලිගය" දිගින් අඩ් 150 ක් හා පළලින් අඩ්150 ක් වූ සුවිසල් මන්දිරයකි.මෙය ඉදිරිපස සුවිසල් සභාශාලාවක් හා රාජ භාණ්ඩාගාරය ලෙස සැලකිය හැකි අභ්‍යන්තරයෙහි වූ කුඩා කාමර වලින් ද යුක්ත වූ අතර රජ පවුල සඳහා වෙන්ව තිබූ උඩු මහල් වලට පිවිසෙන පියගැටපෙළ සුවිසල් ව ගලින් නිමකොට තිබිණි.ඉතා උස් වූ ඝන බිත්තිවල විවර හා තිරස් අවකාශයන් දැවමය කුළුණු හා බාල්ක යොදා නිර්මාණය කර තිබූ බව වර්තමානයේ දක්නට ලැබෙන මහල් තුනෙන් සනාථ වේ.මාඝ ආක්‍රමණ හේතුවෙන් පසුකාලීනව විනාශයට පත්වුව ද අවශේෂයන් මෙතරම් දෘශ්‍යමානව පවතින මෙරට ඉතිරිව ඇති එකම මාලිගය ද මෙය වේ.
පොළොන්නරු රාජධානියෙහි ප්‍රෞඪත්වය විදහාපාන සංකේත
අතීතයේ සිට වර්තමානය දක්වා සිදුකළ ගවේෂණයන් තුලින් හඳුනාගත් පොළොන්නරු රාජධානියෙහි අනන්‍යතාවය හෙළිකරන සංකේත එවකට විවිධ කාලපරිච්ඡේදයන් තුල රාජ්‍ය බලය හිමිකරගත් රජවරුන්ගේ අනුග්‍රාහය යටතේ නිමවී ඇත.එම සංකේත අතුරින් බහුතරය පරාක්‍රමබාහු රජ සමය නියෝජනය කරන අතර සමහරක් 1 විජයබාහු රජ සමයේ හා නිශ්ශංකමල්ල රජ සමයේ ඉදිවී ඇත.
පරාක්‍රමබාහු රාජ මාලිගය,රාජසභා මණ්ඩපය ,ගල් විහාරය,පරාක්‍රම සමුද්‍රය,තිවංක පිළිමගෙය,කිරි වෙහෙර,පබළු වෙහෙර,පොත්ගුල් විහාරය හා පැරණි රෝහල ආදිය 1 පරාක්‍රමබාහු රජ සමයේ ඉදිවූ ඓතිහාසික වටිනාකමින් යුත් සංකේත ලෙස දැක්විය හැකිය.
Saturday, January 7, 2012
පොළොන්නරු රජ පෙළපත
- 1 විජයබාහු රජු -ක්‍රි.ව.1055-1110
- ජයබාහු රජු -ක්‍රි.ව.1110-1111
- 1 වික්‍රමබාහු -ක්‍රි.ව.1111-1132
- 2 ගජබාහු රජු -ක්‍රි.ව.1132-1153
- 1 පරාක්‍රමබාහු රජු-ක්‍රි.ව.1153-1186
- 2 විජයබාහු රජු -ක්‍රි.ව.1186-1187
- 6 මිහිඳු රජු -ක්‍රි.ව.1187-දින 5
- නිශ්ශංකමල්ල රජු -ක්‍රි.ව.1187-1196
- වීරබාහු රජු -ක්‍රි.ව.1196
- 2 වික්‍රමබාහු රජු -ක්‍රි.ව.1196
- චෝඩගංග රජු -ක්‍රි.ව.1196-1197
- ලීලාවතී රෑජිණ -ක්‍රි.ව.1197-1200
- සාහසමල්ල රජු -ක්‍රි.ව.1200-1202
- කල්‍යාණවතී රෑජිණ -ක්‍රි.ව.1202-1208
- ධර්මාශෝකදේව රජු -ක්‍රි.ව.1208
- අනිකංග රජු -ක්‍රි.ව.1208-1209
- ලීලාවතී රෑජිණ -ක්‍රි.ව.1209-1210[දෙවන වර]
- ලෝකේශ්වර රජු ක්‍රි.ව.1210-1211
- ලීලාවතී රෑජිණ -ක්‍රි.ව.1211-1212[තෙවන වර]
- පරාක්‍රම පාණ්ඩ්‍යය රජු -ක්‍රි.ව.1212-1215
- මාඝ රජු -ක්‍රි.ව.1215-1236
Subscribe to:
Posts (Atom)